http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, August 24, 2012

සීණිගම දේවාලයේ ගිණි පෑගීම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 
දිනය 2012 අගෝස්තු 14 වන දිනයි, පුරා සතියක් පමණ පැවැත්වුන සීනිගම දෙවොල් මහා දේවාලයේ උත්සවයේ නිමාව සනිටුහන් කරමින් දෙවොල් මඩු යාගය පැවැත්වෙමින් තිබිණි. මහා ජන ගංගාවක් සුපුරුදු පරිදි සීනිගමට පැමිණ තිබුණේ යාගය නැරඹීමටත්, ගිනි පෑගීම බැලීමටත්, දේව දානය ලබාගැනීමටත් ය.

නමුත් වෙනදා මා නොදුටු විශේශ පිරිසක්ද මෙවර එහි දක්නට හැකි විය. ඒ [දේව] ආරූඪයෙන් ශාස්ත්‍ර කියන පිරිසකි, බහුතරය කාන්තාවන්ය. කෙමෙන් කෙමෙන් යාගයේ පත්තිනි සළඹ වැඩමවූ පසු මඩුව තුල නොව පිටත කලබලය වැඩි වන්නට විය. ඒ 20ක පමණ පිරිසක් පහන් පැළ ආසන්නයටම විත් ආරූඪයෙන් නැටීමට පටන්ගත් නිසාවෙනි.


මෙය අඩුවන පාටක් පෙනෙන්නට නොතිබුන බැවින් දෙවොල් දෙවාලයේ ප්‍රධාන කපු මහතා වන ලයනල් මහත්මා පොල් හනස්සක්ද රැගෙන එහි පැමිණියේ මේ පිරිසට පහරදී එළවා දමන පරිද්දෙනි, නමුත් ඔහු කරුණාවෙන් ඔවුන් අමතා ඔවුන් මඳක් පිටුපසට යැව්වේ සියල්ලන් සිනා ගස්වමිනි.

"මම හිතුවෙ සීය කට්ටියටම ගහවි කියල" මඩුව අතරතුර මුණගැසුන විට මා පැවසුවෙමි, "පවු දරුවො, ඕව එක එක මිනිස්සුන්ගෙ දුර්වලකම්, එක්කො කීයක් හරි හොයාගන්න කරන වැඩ, මොන එක කරත් කමක්නෑ වදයක් නොවී" ඔහු සිනාසෙමින් පැවසීය.

කටයුතු මෙසේ සිදුවද්දී ගිනි පෑගීමට ගිනිමැලය තුනී කරන්නට පටන්ගන්නවාත් සමඟම මහා ජන ගඟක් ඒ අවට තෙරපෙන්නට විය.
ඒ ප්‍රධාම කපු මහතාගෙන් පසු ඔහු පසුපස යමින් ගිනි පෑගීමටය. පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා ජනගඟ පාලනය කරන්නට හැදුවද කිසිදු හරයක් නොදැන ගින්නට පැනීමේ පිරිස පාලනය කරගත නොහැකි තරම් විය. එකා පසුපස එකා පොරකමින් ගිනිමැලය උඩින් දිවයන විට එකවරම කාන්තාවක් ගිනි අඟුරු ගොඩ මත ඇද වැටින.

ඇයට සිදුවූ දෙය අහම්බෙන් කැමරාවේ සටහන්වී තිබුනි, කෙසේ හෝ ඇයව ඉවතට ඇද දමා ප්‍රතිකාර සඳහා ගෙනගිය අතර තවත් කාන්තාවක් එලෙසම ඇදවැටී පිලිස්සුනේ ඒට විනාඩි පහක් යන්නට මත්තෙනි. මිල්ල දර අඟුරු හා ගෝනි 23ක පොල්කටු අඟුරු මත ඇදවැටුන අයෙකුට සිදුවූ දෙය අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැත [ඇතැමුන්ට නම් දඬුවම් ලෙසම දෙපා පිලිස්සුන බව සියල්ලෝම පැවසූහ]

මේ අතර එහි පැමිණ සිටි බණ්ඩාරගම වීදියගොඩ දේවාලයේ ප්‍රධාන කපු මහත්මා වන නලීන් ශාන්ත මහතාගෙන් මේ පිළිබඳ විමසීමට හැකිවිය. පළමුවෙන්ම අප ඔහුගෙන් විමසුවේ දේව ආරූඪය ගැනයි. "පුතා දෙවිවරු කියන්නෙ උසස් කොටසක්, ඔවුන් වාසය කරන්නෙම ඉතා පිරිසිඳු ස්ථාන වල, මේ මනුශ්‍ය ශරීරය වගේ කුණුගොඩකට දෙවියො වඩීවිද, ඕව පෙරේත ආත්ම, ඒ අයගෙයි මෙයාගෙයි වෙනස බලන්න" කියා හේ අපට වාහල නර්තනයේ යෙදෙන ඇදුරා පෙන්වීය.

"මේ කඩවර දේව ආරූඪය කිව්වට එහෙමම නෙවේ, නමුත් පෙරේත ආත්මයකුත් නෙවෙයි" සත්‍ය ලෙසම අප එය දුටුවෙමු. වාහල ඇදුරාගේ ආරූඪය අප්‍රසන්න නොවීය එහි තේජස් බවක් තිබිනි, නමුත් පිටත සිටියවුන්ගේ ඉරියව් ඉතා අප්‍රසන්න විය ඔවුන් දෑත් එහේ මෙහේ වනමින් ඉතා කේන්තියෙන් මොනවාදෝ නොතේරෙන බසක් කියා කෑගසන්න විය, ඒ මුහුණු වල තිබුණේ වෛරය, වේදනාව වැනි පෙනුමකි. වාහල ඇදුරා ගේ මුහුණින් ගලාහැලෙන දහඩිය හා පැන් වතුර හැර වෙන කිසිවක් පිළිඹිඹු නොවීය,

අපෙ ඊලඟ ප්‍රශ්නය ගිනිපෑගීම පිළිබඳවයි.

මෙය අසනවාත් සමඟම තවත් කපුමහතුන් කීපදෙනෙක්ම මීට පිළිතුරු සැපයීය "මල්ලි මේක කරන්නෙ දෙවොල් දෙවි කතා පුවත පෙන්නන්න, දෙවොල් දෙවියො පත්තිනි දේවිය මැවූ ගිනි කඳු හත තරණය කරල සීනිගමට ගොඩබට හැටි පෙන්නන්න. මේ ඉන්න මුළු සෙනගක් ඒක කරන්න ඕනෙ නෑ. අනික ඕක පෑගුවට ඇති සෙතක් නෑ. මේ අපි කරන්නෙ තනිකරම සාහිත්‍ය කටයුත්තක්.

මේවයින් කරන්නෙ මිනිස්සුන්ගෙ මනස පිරිසිඳු කරන එක. එහෙම නැතුව මේකෙ මැජික් නෑ. මේකෙ යටි අරුත මේ රටට පිට දෙසක්කාරයොන්ට ලේසියෙන් පයගහන්න දුන්නෙ නෑ කියන එක. අවසානයෙ දෙවොල් දෙවියො බලය පෙන්නල බැරිම තැන පත්තිනි දේවියට මතක්කරල දෙනව කකුසඳ බුදු සමයෙ අපි දෙදෙනා එක කුස සහෝදරයින් කියල. ඊට පස්සෙයි දෙවොල් දෙවියන්ට එන්න ලැබුනෙ. එහෙමයි ලංකාව ආරක්ශා කරගත්තෙ. එක එක අයට හිතු මනාපෙ යන්නෙ එන්න දුන්නෙ නෑ.

අනික මේ කාන්තාවො ගිනි පාගන එකට අපි තදින්ම විරුද්දයි. මේකෙ පැති දෙකක් තියනව පිරිමියෙක්ගෙ සම රළුයි. එකවර පිලිස්සෙන්නෙ නැහැ. අපි මේව කරන්නෙ පේවෙලා, මන්ත්‍ර කියල පිච්චෙන්න්නෙ නැතිවෙන්න. එහෙම කරාම දුවන්න ඕනෙ නෑ. [ඒ අවස්ථාවේ මම කාලෝ ෆොන්සේකා මහතාගේ අභියෝගය ගැන පැවසුවෙමි. ඔවුන් එය දන්නෙ නැත. නමුත් සිනාසී පැවසුවේ තමන්ට වීරයන් වීමට අවශ්‍ය නැති බවත් මෙය කරන්නේ පූජාවක් ලෙස මිසක් ව්‍යාපාරයක් ලෙස නොවන බවත්ය]

මේ අය මුකුත් නෑ ඔහේ යනව, ගිහින් මොනවහරි උනගමන් වැරැද්ද කපුමහත්තරුන්ගෙ. මේ මැජික් පෙන්නන දේවාල නිසා මිනිස්සු මැටි වෙලා, බලන්න ඔය හාස්කම් පෙන්නන දේවාල බොහොමයක් ඉතිහාසයක් නැති ඒව. ප්‍රසිද්දිය ගන්න ඕන උනාමත් එහෙම කරනව, මිනිස්සු ඒවටම යටවෙලා මේ දේවාල වලිනුත් මැජික් බලාපොරොත්තු වෙන.

හාස්කම බලන්න ඉන්නව මොළේ වෙහෙසල මේ කරන්නෙ මොකක්ද කියල අවබෝධ කරගන්නෙ නෑ," කියූ පරිදිම එය එසේ වී තිබුණි, ගිනි පෑගීම අවසන්ව තිබුණි, මඩුවේ තව අංගයක් ඉතිරිය නමුත් ලක්ශයකට අධික සෙඟක් සිටි දේවාලයේ බලාපොරොත්තු වූ මැජික් අංගය[ගිනි පෑගීම]පෙන්වා දානය ලබාදුන් බැවින් මඩුව අවසානයේ ඉතිරිව සිටියේ අප තිදෙනා ඇතුළු කපුමහතුන් පමණි

"බුදුදහම යනු මැජික් හෝ හාස්කම් නොවේ" එය මුළු මහත් බෞද්ධ ජනතාවම තේරුම් ගතයුතු සත්‍යයි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts