http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, August 30, 2012

දැන් මගේ ජීවිතය සම්පූර්ණයි- මව්බිමට පැමිණි උදාරි

සරසවියට කී අපූරු කතාව නොනවත්වාම ඇද හැලුණු අනෝරා වර්ෂාව මොහොතකට තුරල් වුණා. අඳුරු වළා කැටිති දෙපළු කොට රන් හිරුමඬල පෙරට වඩා ආලෝකමත් වී හසරැල් පාන්න පටන් ගත්තා. මට මතක් වුණේ ඇයව. ඇගේ උවනත් දැන් එදාට වඩා සුන්දර ඇති. මං ඒ සොඳුරු රුව සිතින් මවාගන්න උත්සාහ කළා.
දඟකාර සංසලා. ඇය අද සන්සුන් වෙලා. ඒ බව නම් මට සහතිකයි. ඔබ සංසලාට ද උදාරිට ද ආදරේ? මං එහෙම ඇහැව්වොත් නිසැකවම ඔබ නිරුත්තර වනවා. මන්ද යත් සංසලා සහ උදාරි යනු දෙදෙනකු යැයි ඔබට විශ්වාස කළ නොහැකි නිසා. එතරම්ම ඈ සංසලා හරහා වෙන් කළ නොහැකි අන්දමට ඔබේ ජීවිතය සමඟ බද්ධ වුණා.
මේ සිතැඟි පොදි එහාට මෙහාට පෙරළන ගමන්ම මා ඇගේ නිවස ඉදිරිපිට නැවතුණා. මගේ සේයාව දුටු ඈ මිදුලෙහි ඇති උඳුපියළිය පළස මතින් දෙපා ඔසවා ගේට්ටුව විවර කළා.
එන්න ඇතුළට?
මා මොහොතක් ඈ දෙස බලා සිටියා. සත්තකින්ම උදාරි පෙරට වැඩිය ලස්සන වෙලා. ඒ මොලොව කාන්තාවකට හිමි විය හැකි ඉහළම පදවිය එහෙමත් නැතිනම් උත්තරීතර මව් පදවියෙන් ඈ පිදුම් ලබා ඇති හින්දා.
මිනිත්තු ගණනක් ගෙවී ගියා. මා ආ වගක්වත් උදාරිට මතක නැති තරම්. අනන්ත වාරයක් ඈ චූටියාව සිප ගන්නවා. නිර්මාල මාතෘත්වයේ අනුහසින් දැන් ඈ අනාගතය දෙස බලන්නේ ඇගේ දූ සිඟිත්තගේ ඇස් දෙකෙන් කියලා මට හිතුණා.
ඉතින් උදාරි ජීවිතේ තවත් සුන්දරයි නේද දැන්?
හ්ම්ම්ම් . . . ඒ ගැන කියන්න වචන හොයා ගන්න අමාරුයි. එතරම්ම ජීවිතය සුන්දරත්වයෙන් පිරී ඉතිරී ගිහිල්ලා. උදේ ඉඳන් හවස් වනතුරුත් මුළු රැය පුරාමත් පුංචි දූ සමඟ ගෙවෙන කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. මට මගේ අම්මව මතක් වෙනවා. ඇයත් මා ලැබුණු වෙලාවේ මෙහෙම සතුටු වන්නට ඇති. එක අතකට මට පුදුමයි, මං අම්මා කෙනෙක්ද කියලා. මොකද ඒ හැඟීම හරිම නුහුරු එකක් නිසා.
දැන් දුවට හරියටම මාසයයි. මගේ සැමියා සුජිත් සේවය කරන ඉස්පිරිතාලෙදිමයි බබාව ලැබුණේ. කෙටි නිවාඩුවකට තමයි ලංකාවට ආවේ. ටිකක් ඇවිදින්නත් හිතාගෙන ඉන්නවා. මට හිතෙනවා දැන් මගේ ජීවිතය සම්පූර්ණයි කියලා.
මොකක්ද දුවට තිබ්බ නම?
මමයි සුජිතුයි තීරණය කළා එස් අකුරෙන් පටන් ගන්න නමක් යොදන්න. සුජිත්ගේ නමත් එස් අකුරෙන්නෙ ආරම්භ වන්නේ. ඒ හින්දා ෂෙනර්යා උමෙයිලි යනුවෙන් නම හැදුවා. එහි පළමු වචනයේ තේරුම දෙවිවරුන්ගේ රැජන. දෙවෙනි පදයෙන් කියන්නේ උතුම් වූ මවක් වන කාන්තාවක් යන්නයි.
කවුද නම හදලා දුන්නේ?
මමයි සුජිතුයි එකතු වෙලයි නම හැදුවෙ.
දියණියක් සිටින මවකට වගකීම් සමුදායක් තියනවා?
ඇත්ත. කාන්තාවක් තමයි සමාජයක පරපුරක් බිහි කරන්නේ. මගේ දුවත් කවදා හරි එහෙම කරයි. ඒ නිසා ඇයව ආදර්ශවත් චරිතයක් කිරීම මගේ යුතුකමක්. සාමාන්‍ය සමාජයක වැඩිපුර තැලෙන්නෙ පොඩි වෙන්නේ කාන්තාවන්. මගේ දියණියටත් එය පොදු කරුණක්. ඇයට පුළුපුළුවන් විදිහට මං ඒ ගැන තේරුම් ඇති කාලෙක කියලා දෙනවා. විවිධ අකටයුතුකම් වලින්ආරක්ෂා වන විදිහත් ඇයට පවසන්න මා පසුබට වන්නේ නැහැ. කවදා හෝ ඇයත් සමඟ ඉන්නේ අම්මා විදිහකට වඩා ඉතාම සමීප යෙහෙළියක් විදිහට. එතකොට අපි දෙන්නා අතර රහස් තියන එකක් නැති වේවි.
අනාගතයේ දිනක දුවට රඟපාන්න ඕනෑ කියලා කිව්වොත් මොකද කරන්නේ?
කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව රඟපාන්න යවනවා. හැබැයි මං ඇගේ සෑම කලා කටයුත්තකදී පසුපසින් සිටිනවා.
දිගටම සිංගප්පූරුවේ පදිංචි වන්නට හිතාගෙන ඉන්නවාද?
තවම එහෙම ප්ලෑන් එකක් නැහැ. දරුවා පුළුවන් තරම් එහෙ පරිසරයට හුරු කරන්නයි හිතාගෙන ඉන්නේ. කෙසේ නමුත් ලංකාවේ තරම් සංස්කෘතිය, හැදියාව දියුණු ලෝකයේ වෙන කිසිම රටක් නැහැ. එහෙට පුරුදු කළත් සිංහල බස ඇයට උගන්වනවා.
උදාරි රංගනයෙන් ඈත් වෙයිද?
රංගනයෙන් ඈත්වෙන්න මට බයයි. මට රසික රසිකාවන් ඉන්න තරමට මං ආසයි. තැනකට ගියහම මං ළඟට ඇවිත් ගොඩක් දෙනෙක් කතාබහ කරනවා. මං ඒ ආදරයට හරිම ලෝබයි. රංගනයෙන් අයින් නොවන ප්‍රධාන හේතුවත් ඒකයි.
යොවුන් නිළියක මවක් වුණාට පසුව ජනාදරය අඩුවනවා. උදාරි ඒ අදහසට එකඟද?
එකඟ වන්න විදියක් නැහැනේ. අදටත් ජනප්‍රිය නිළියගේ ලැයිස්තුවේ මං ඉන්නවනේ. මං නැතුව සිහින පියාපත් නාට්‍ය හරිම පාළුයි කියලා කියනවා. ඒගොල්ලෝ ආයේ මාව ඉල්ලනවා. අදටත් මේ දැනුත් නාට්‍ය කිහිපයකටම කතා කළා.
රංගනය යළි ඇරැඹුවට පස්සේ බබා කා ළඟද තියලා යන්නේ?
බලමු. දැනට නම් බබාගේ සියලු වැඩ කටයුතු මවිසින්මයි සිදු කරන්නේ. අනිත් අයට වගේ මට නැනීලා නැහැ. මං ඇරෙන්න මගේ බබාගේ දේවල් වෙන කවුරුවත් කළාට මගේ හිතට හරිත් නැහැ. එන විදිහට මුහුණ දෙනාව. දැනට එහෙම හිතමු.
මට ඇත්තම කියන්න එහෙද හොඳ? නැත්නම් මෙහෙද?
මාව හිර කරන ප්‍රශ්නයක්නේ ඔයා ඇහැව්වේ. ලංකාව තමයි හොඳ. සුජිත් වැඩ කරන්නේ සිංගප්පූරුවේනේ. ඒ හින්ද ඉදිරියේදී එහෙ ඉන්න වෙන අවස්ථාවන් වැඩි වේවි. ලංකාවට කැමති නිසානේ ටක් ගාලා දුවගෙන එන්නේ. මේකත් එහෙම ගමනක්.
මෙහෙම නිතරම එන යන එක බබාට ප්‍රශ්නයක් වේවිද?
දැනටමත් එයා මේවට පුරුදු වෙලා. හරිම පුරුදුකාරියෙක් වගේ ෆ්ලයිට් එකෙත් ආවේ.
ෂෙනාර්යා කවුරු වගේද?
දකින හැමෝම කියනවා තනිකරකම සුජිත් වගේ කියලා. මගේ කිසිම අංග ලක්ෂණයක් ගෑවිලාවත් නැතිලු.
උදාරි දැන් මවක්, ගුණගරුක බිරියක්. ඔබ මෙතෙක් අපු ගමන ගැන සෑහීමකට පත්වනවාද?
සත්තකින්ම මං මුලින්ම රංගනයට ආවේ උදයකාන්ත වර්ණසූරියගේ පායා එන්න හිරු සේ චිත්‍රපටයෙන්. එයත් ඉතාම සාර්ථක වුණා. මං රඟපෑ පළමු ටෙලි නාට්‍යයෙන්ම ලංකාවේ ජනප්‍රියම නිළිය වෙන්නට වරම් හිමි වුණා. මාස හයකටත් වාඩ වැඩි කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියත් රසිකයෝ මාව හොයනවා. ඒ ගැන සතුටුයි. ඒ වගේම නියම කාලයේ විවාහ වුණා. මවක් වුණා. හොඳ බිරියක් වුණා. ඉතිං මං මේවා ගැන සෑහීමකට පත් නොවී කොහොමද අනේ. උපරිම තෘප්තියකිනුයි මං ජීවත් වන්නේ.
උදාරි එහෙම කිව්වේ හසරැලි සාගරයක් වත මඬලෙහි මවා ගනිමින්. සරසවියට කවදත් ළෙංගතු මිතුරි, උදාරි වර්ණකුලසූරියට තවත් පැහැබර වූ අනාගතයකට පැතුම් එක්කරමින් මා ඇගෙන් සමු ගත්තා.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts