http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, May 28, 2012

දීපිකාගේ කෙස් කළඹට මිලියන 50 ක්

දීපිකාගේ කෙස් කළඹට මිලියන 50 ක්
2007 වසරේ තිරගත වූ "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පා තැබූ සුරූපී නිළි දීපිකා පදුකෝන් එම චිත්‍රපටය වෙනුවෙන් එම වසරේ හොඳම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිකරගැනීමට ද සමත්වූවාය. එමෙන්ම එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය සඳහා ද නිර්දේශ විය. 1986 ජනවාරි මස 06 වන දින උපත ලද දීපිකා හිටපු ඉන්දීය බැඩ්මින්ටන් ශූරයෙකු වන ප්‍රකාශ් පදුකෝන්ගේ දියණිය වේ. "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටයෙන් ඇරඹි සිය වෘත්තීය සිනමා ජීවිතය ඔස්සේ කෙටි කාලයක් තුළ ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගැනීමට ඇය සමත්වූවාය. "බචනා ඒ හසීනෝ", "ලව් ආජ් කල්", "කාර්තික් කෝලිං කාර්තික්", "හවුස්ෆුල්" සහ "බ්‍රේක් කෙ බාත්" දීපිකාගේ සිනමා දිවිය හැඩකළ නිර්මාණ කිහිපයකි. ඒ අතරින් "ලව් ආජ් කල්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2009 වස‍රේ හොඳම නිළිය සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය වෙනුවෙන් දීපිකාගේ නම යෝජනා විය. වත්මන් බොලිවුඩ් සිනමාවේ සිටින සාර්ථක රංගන ශිල්පිණියක ලෙස සැලකිය හැකි දීපිකා පදුකෝන් ටිසොට්, සෝනි සයිබර්ෂොට්, නෙස්කැෆේ හා කින්ග්ෆිෂර් එයාර්ලයින්ස් යන ජනප්‍රිය වෙළඳ නාම සඳහා සන්නාම තානාපතිත්වය ද දරයි. "කොක්ටෙල්", "යේ ජවානී හේ දිවානී", "රේස් 2" හා "රානා" දීපිකා පදුකෝන් රංගන දායකත්වය සපයන නවතම සිනමා නිර්මාණ කිහිපයකි.

වෘත්තීය වශයෙන් කලා ශිල්පියෙකු හෝ ශිල්පිණියක ලබන සාර්ථකත්වයත් සමග ඇය වෙනුවෙන් ඉහළ වාණිජමය වටිනාකමක් හිමිවීම ද සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව දීපිකාගේ රූ සපුවෙහි සුන්දරත්වය තවදුරටත් වර්ධනය කරන ඇයගේ කෙස් කළඹ වෙනුවෙන් ඉහළ මිලක් හිමිව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හිසකෙස් සඳහා භාවිත කරන පොල්තෙල් නිපදවන සමාගමක් විසින් ඔවුන්ගේ එම නිෂ්පාදනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 50 ක මුදලක් ලබාදීමට ඉදිරිපත්ව ඇති බව මෙම නවතම පුවත වේ. රංගන ශිල්පිණියකට ඇය රංගන දායකත්වය සපයන චරිතයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිතරම සිය හිසකෙස් විලාසිතාව වෙනස්කම්වලට භාජනය කිරීමට සිදුවන අතර එමනිසාම දිගු කෙස් කළඹක් පවත්වාගෙන යාම අපහසු තත්ත්වයකි. නමුත් කෙස් කළඹ කෙටි කර කපාදැමීම සඳහා විවිධ යෝජනාවන් ඉදිරිපත් වුව ද දීපිකා විසින් වසර ගණනාවක් තිස්සේ අවශ්‍ය සත්කාරයන් ලබාදෙමින් ඇයගේ දිගු කෙස් කළඹ නඩත්තු කරන බව සඳහන්ය. කෙසේවෙතත් සිය වෙළඳ නිෂ්පාදනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් දීපිකා පදුකෝන් තෝරාගත් අදාළ සමාගම විසින් සිදුකරන ලද වෙළඳපොළ සමීක්ෂණ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් ලෙස ඇයගේ උචිත බව තීරණය කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ වෙළඳනාම හිමිකරුවන් දීපිකා සමග පැවති හමු 02 න් පසුව ගනුදෙනුව පිළිබඳව අවසන් තීරණයකට එළඹ ඇති බව ද වාර්තා වේ. "දීපිකා සිය සිරුර මෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන රංගන ශිල්පිණියක්. ඒ වගේම ඇය ඇයගේ කෙස් කළඹ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. එමනිසාමයි වෙළඳනාම ප්‍රචාරණ කටයුතුවලදී මෙසේ ඇයගේ කෙස් කළඹට ඉහළ වටිනාකමක් හිමිවී තිබෙන්නේ. මිලියන 50 ක මෙම වෙළඳ ගනුදෙනුව සඳහා ඉදිරිපත් වූ අදාළ සමාගම මගින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් තෝරාගත් සුපිරි තරු ලැයිස්තුවෙහි දීපිකාගේ නමට පළමු ස්ථානය ලබාදීමට තීරණය කර ඇත්තේත් එම හේතුව නිසයි. එසේ ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා උචිත සුපිරි තරුව තෝරාගැනීම සඳහා සමාගම මගින් පවත්වන ලද වෙළඳපොළ සමීක්ෂණය සිදුකර ඇත්තේ සාමාන්‍ය ජන මතය ඇසුරින්. ඒ අනුව දීපිකාගේ කෙස් කළඹට ජනතාව දක්වන කැමැත්තත් පෙනීයනවා" ආරංචි මාර්ග අනාවරණය කර තිබේ. කෙසේවෙතත් ඉන්දීය රුපියල් මිලියන 50 ක වටිනාකමින් යුත් මෙම වෙළඳ ප්‍රචාරණ ගනුදෙනුව පිළිබඳව තහවුරු කිරීමක් හෝ අදහස් දැක්වීමක් සුරූපී නිළි දීපිකා පදුකෝන් විසින් තවමත් සිදුකර නොමැති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts