http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, February 21, 2012

බාහිරින් ඒ වගේ ප්‍රශ්න එනවා. . .

බාහිරින් ඒ වගේ ප්‍රශ්න එනවා. . .
වෙළඳ දැන්වීම් සඳහා දායකත්වය ලබාදෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගත් ඇය මේ වනවිට පුංචි තිරය ඔස්සේ දිගු ගමනක් පැමිණීමට අවස්ථාව හිමිකරගෙන තිබේ. පසුගිය දිනවල දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වුණු "ආදරණීය පූර්ණිමා" සහ "ආදර වසන්තයක්" වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ඇය නිරූපණය කළ චරිතයන් තවමත් ප්‍රේක්ෂක ඔබේ මතකයේ රැඳී තිබෙනු ඇත. පුංචි තිරයේ අහිංසකාවියක ලෙස ද බොහෝදෙනෙකු ඇය හඳුන්වයි.

ඇය ගයාත්‍රි රාජපක්ෂ...


*සම්පූර්ණ නම

රාජපක්ෂ පතිරන්නැහැලාගේ ධනුෂ්කා ගයාත්‍රි රාජපක්ෂ

*උපන්දිනය

මාර්තු 07

*ලග්නය

මේෂ

*උස

අඩි 05 අඟල් 03

*අධ්‍යාපනය ලැබූ පාසල්

ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය


*ගයාත්‍රි, ඉතින් කොහොමද අලුත් තොරතුරු?

මේ දවස්වල නාට්‍යවල රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා.

*ඔබ හදිසියේම රැකියාවෙන් ඉවත්වෙන්න තීරණය කළේ ඇයි?

කලා කටයුතු අතරෙ මම පෞද්ගලික අංශයේ ගිණුම් කටයුතු සම්බන්ධ රැකියාවක නිරතවෙලා හිටියා. නමුත් රංගන කටයුතු සඳහා නිවාඩු ලබාගැනීමේ දී පවතින ගැටලු නිසා රැකියාවෙන් ඉවත්වුණා. මොකද රැකියාවයි කලා කටයුතුයි දෙකම එකට කරද්දි දෙකෙන් එකක්වත් හරියට කරන්න බැරිවෙනවා.

*එතකොට ඔබ මේ වෙද්දි ඔබ ඔබේ වෘත්තිය විදිහට කලා ක්ෂේත්‍රය තෝරාගන්න තීරණය කරලා තිබෙනවද?

දැන් මම වෘත්තිය විදිහට රංගනය ‍තෝරාගෙන තිබෙනවා.

*ඔබ රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවද?‍‍

හැදෑරීමක් කරලා නෙවෙයි මම රංගනයට සම්බන්ධ වුණේ. නමුත් ම‍ට ලැබෙන චරිත ඔස්සේ අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබෙන උපදෙස් සහ ජ්‍යොෂ්ඨ ශිල්පීන්ගෙන් ලැබෙන උපදෙස් අනුව වැඩ කටයුතු කරගෙන යනවා.

*ඔබට ක්ෂේත්‍රය තුළ ඉදිරියට පැමිණීම සඳහා විශේෂයෙන් උපකාර කළ කවුරුන් හෝ සිටිනවාද?

මම ක්ෂේත්‍රයට පැමිණියේ වෙළද දැන්වීම් හරහායි. ඉන්පසුව රංගනයට පිවිසුණාට පස්සේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා තමයි මට හැමදෙයක්ම කියලා දුන්නේ.

*ඔබේ සමකාලීන ශිල්පිණියන් සමග සසදද්දි කලා ක්ෂේත්‍රයේ ඔබ මේ දක්වා පැමිණි ගමන ගැන, විශේෂයෙන් ඔබට දායකවෙන්න ලැබුණු නිර්මාණ සහ මේ වනවිට ඔබ ලබා ඇති ජනප්‍රියත්වය ගැන සෑහීමට පත්වෙන්න පුළුවන්ද?

මම සෑහීමට පත්වෙනවා. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු "ආදරණීය පූර්ණිමා" ටෙලි නාට්‍යය තුළින් ඉහළ ජනප්‍රියත්වයක් ලබාගන්න පුළුවන් වුණා. බොහෝදෙනෙක් ඒ ගැන අහනවා. ඉතින් ඒ ගැන සතුටුයි.

*නවක ශිල්පිණියක් විදිහට ඔබ ක්ෂේත්‍රයට පිවිසෙද්දි ඔබට යම් යම් අකටයුතුකම්වලට මුහුණදෙන්න සිද්ධවුණු අවස්ථා නැද්ද?

මට නම් එහෙම ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධවෙලා නෑ. මේ ගමන හැමදෙනාගෙම සහයෝගය මත ආව ගමනක්. නමුත් බාහිරින් ඒ වගේ ප්‍රශ්න එනවා. රංගන ශිල්පිණියක් කිව්වම අහනවා අම්මා, තාත්තා රඟපානවට කැමතිද වගේ ප්‍රශ්න. මම දන්නේ නෑ ඇයි ඒ වගේ ප්‍රශ්න අහන්නේ කියලා. මොකද රංගනයත් වෘත්තියක්. තමන් කරන දේ කොහෙවුණත් හරියට කරනවා නම් මම හිතන්නේ නෑ වැරදි චෝදනාවක්වත් එයි කියලා.

*වර්තමානයේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය සංස්කෘතිය බිඳවැටිලා තියෙනවා කියලා ඇතැමුන් චෝදනා නගනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

බිඳවැටිලා කියන්නේ හොඳ නිර්මාණ බිහිවෙන්නේ නෑ. මෙගා නිර්මාණවුණත් රැල්ලකට යන බවක් පේනවා. නමුත් නාට්‍ය සංස්කෘතිය බිඳවැටිලා කියලා කියන්න බෑ. මොකද බොහෝ නවක ශිල්පීන් බිහිවෙලා තියෙනවා. හැම නාලිකාවකම වගේ නිතරම ටෙලි නාට්‍ය විකාශය වෙනවා. බිඳවැටීමක් කියලා කියන්න බෑ. නමුත් හොඳ නිර්මාණ බිහිවීමේ අඩුවක් තියෙනවා.

*රංගන ශිල්පිණියක් ලෙස ඔබේ අරමුණ මොකක්ද?

මම පොඩි කාලේ ඉඳන්ම රඟපාන්න ආසයි. ඒ නිසා තමයි රංගනයට යොමුවුණේ.

*කොහොමද ඔබේ පවුලේ තොරතුරු?

මගේ පවුලේ ඉන්නේ මමයි, නංගියි, අම්මයි, තාත්තායි. නංගි විවාහකයි. මගේ අම්මා තමයි මගේ කලා ක‍ටයුතුවලට ගොඩක්ම උදව් කරන්නේ, මාව දිරිගන්වන්නේ. නිර්මාණයක් ලැබුණම මම අම්මා එක්ක ඒ ගැන කතාකරනවා. තාත්තාගෙනුත් ‍ලොකු සහයෝගයක් ලැබෙනවා. නමුත් නිර්මාණ තෝරාගැනීමේ දී ඔවුන් මට බලපෑමක් කරන්නේ නෑ. මම කවදාවත් වැරදි දෙයක් තෝරානොගන්නා බව ඔවුන් දන්නවා.

*නිර්මාණ තෝරාගැනීමේ දී ඔබ විසින් පනවාගත් සීමා තිබෙනවාද?

පිටපත කියවලා මට කරන්න පුළුවන් චරිතයක් නම් මම භාරගන්නවා. මගේ සීමාවන් තිබෙනවා. ඒ අනුව තමයි මම චරිත තෝරාගන්නේ.

*ආදරය සහ විවාහය ගැන ඔබ මොකද හිතන්නේ? 

ආදරය අනිවාර්යයෙන්ම ජීවිතයට අවශ්‍යයි. ආදරයේ දී එකිනෙකාව හොඳින් තේරුම්ගත යුතුයි. විශ්වාසය තිබිය යුතුයි. ඒ වගේම බොරු කියන්න හොඳ නෑ.

*හිතෙන්නේ නැද්ද දැන් ඔබේ විවාහයටත් සුදුසු කාලය කියලා?

මේ වෙද්දි මම සහකරුවෙක් තෝරාගෙන ඉන්නේ. වැඩි විස්තර පසුව කියන්නම්. ඔහු කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි. ඔහු විදෙස්ගතව පුද්ගලික ආයතනයක සේවය කරනවා. මම හිතන්නේ ලබන අවුරුද්දේ විතර මගේ විවාහය ගැන දැනගන්න ලැබෙයි.

*ඔබ ඔබේ ජීවිතයේ වඩාත්ම දුකට පත්වුණු අවස්ථාවක් මතක්කරන්න පුළුවන්ද?

ඒ වගේ අවස්ථාවක් තියෙනවා. නමුත් ප්‍රසිද්ධියේ ඒ ගැන කියන්න අමාරුයි.

*ඔබ ජීවිතයේ වඩාත් සතුටට පත්වුණු අවස්ථාවක්?

මම ගෙයක් හදන්න පටන්ගත්තා. ඒ ගෙදරට මුල්ගත තිබ්බ අවස්ථාව මම ජීවිතයේ බොහොම සතුටුවුණු අවස්ථාවක්.

*සාමාන්‍ය ජීවිතයේ දී ඔබ කතාබහට ටිකක් අකමැති කෙනෙක් කියන්නෙ ඇත්තද?

අකමැති කෙනෙක් නෙමෙයි. නමුත් මම සාමාන්‍යයෙන් වැඩිපුර කතාකරන්නේ නෑ. දන්නම කට්ටියත් එක්ක කතාකරනවා. නැත්නම් කතාකරන්නේ නෑ පැත්තකට වෙලා ඉන්නවා. මම තමන්ගේ පාඩුවේ ඔහේ ඉන්න කෙනෙක්.

*ඔබට කවදා හෝ හදිසියේම ක්ෂේත්‍රයෙන් සමුගන්න සිද්ධවුණොත් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?

කලාවෙන් සමුගත්තොත් මම අනිවාර්යයෙන්ම ගණකාධිකරණ අංශයට සම්බන්ධ රැකියාවකට යොමුවෙයි.

HARD TALK

*ඔබට ඉහළ මුදලකට, ඔබ කාලයක් බලාපොරොත්තුව හිටපු ආකාරයේ, ඔබ බොහොම ප්‍රියකරන නිර්මාණකරුවකුගේ ජාත්‍යන්තර මට්ටමේ කිසියම් නිර්මාණයක් සඳහා ඔබට ආරාධනාවක් ලැබෙනවා. එහි ඔබට ලැබෙන චරිතය සඳහා ඔබට සිද්ධවෙනවා සම්පූර්ණයෙන්ම හිස මුඩුකරන්න. ඔබ ඒ චරිතය භාරගන්නවද?

නැහැ.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු කවදා හෝ ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද?

ඔව්.

*ඔබ දායක වූ කිසියම් කලා නිර්මාණයක් වෙනුවෙන් ඔබට පොරොන්දු වූ මුදලක් නොලැබී ගිය අවස්ථාවක් තියෙනවද?

ඔව්.

*ඉහළ මිලකට කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුත්තක් වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයක් සඳහා දායකවෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් ඔබේ කලා ජීවිතයටත් ඉහළ ප්‍රතිලාභයක් ලැබෙනවා. ඔබ ඒ නිර්මාණය බාරගන්නවද?

නැහැ.

*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවද?

ඔව්.

*වෘත්තීය වශයෙන් සාර්ථක කලා ශිල්පිණියක් විදිහට ඔබ හඳුන්වන්නේ මූල්‍යමය වශයෙන් ඉහළම මට්ටමක ඉන්න ශිල්පිණියක් ද ඉහළම ජනප්‍රියත්වයක් තිබෙන ශිල්පිණියක්?

ජනප්‍රියත්වය.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts