http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, January 10, 2012

මේනක රාජපක්ෂ. . .

මට ලොකු හීන නෑ...
මෙරට ප්‍රේක්ෂක ජනතාව ඔහු වඩාත් හොඳින් හඳුනාගත්තේ "මුතු කිරිල්ලි" ටෙලි නාට්‍යයේ අනුපම ලෙසය. එමෙන්ම "අමන්දා", "වහින්න මුතු වැස්සක්" වැනි නිර්මාණ තුළින් ද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගත් ඔහු "උපුලී", "සිහින පියාපත්", "ආදරේ අහස තරම්"හා "ඕලු 2" වැනි ටෙලි නාට්‍ය තුළින් මේ දිනවල ඔබේ ආලින්දයට පැමිණෙයි. පසුගිය දිනවල තිරගත වූ "සිංහාවලෝකනය" චිත්‍රපටය ඔස්සේ ඔහු සිනමා රංගනයට ද එක්විය. අවස්ථා කිහිපයකදීම ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ද දිනාගැනීමට ඔහු සමත්වූවාය.

ඔහු මේනක රාජපක්ෂ. . .




ඡායා -අරන්ත සිරිමාන්න






*සම්පූර්ණ නම

මේනක හේමාල් රාජපක්ෂ

*උපන්දිනය

1984 මැයි 24

*ලග්නය

මකර

*පදිංචිය

නාවල, නුගේගොඩ

*උස

අඩි 05 අඟල් 10

*ප්‍රියතම විලාසිතාව

ඩෙනිමයි ටී ෂර්ට් එකයි

*මේනක, හැමදාමත් පුංචි තිරයේ ආදරණීය පෙම්වතා වෙලා ඉන්නමද කැමැත්ත?

මම පටන්ගත්තේ පුංචි තිරයේ පෙම්වතාගේ චරිතයෙන් නෙමේ. පසුකාලීනවයි පෙම්වතාගේ චරිතයට යොමුවුණේ. මේ කාලේ මාව අවශ්‍ය පෙම්වතාගේ චරිතයට නම් මම ඒ චරිතය සඳහා උපරිම සාධාරණය ඉෂ්ට කරන්න සූදානම්. මේ දවස්වල මම සම්බන්ධ වෙලා නිර්මාණවල පෙම්වතාගේ චරිතය නෙමෙයි නිරූපණය කරන්නේ. මම චරිත තෝරාබේරාගැනීමක් කරනවා නෙමෙයි. නමුත් චරිත ලැබෙද්දි ඒ චරිතවලට මගේ පෙරේතකමක් තියෙනවා. ඉතින්, ඒ චරිත හරහා මම කොහොමහරි ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්නවා. ලැබෙන්නේ පෙම්වතාගේ චරිත වුණාට දුෂ්ට චරිතවලට මම ගොඩක් පෙරේතයි. මම හොඳ දුෂ්ටයෙක්. එවැනි චරිතයක් මට ලැබුණොත් කොහොමහරි දින වකවානු හදාගෙන ඒ චරිතය කරන්න සූදානමින් ඉන්නවා.

*දිගටම එකම චරිතයකට කොටුවීම ඔබේ ඉදිරි ජනප්‍රියත්වයට බලපෑමක් වෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද?

මම නම් ඒක පිළිගන්නේ නෑ‍. මගේ වයස සහ පෙනුම එක්ක මට දැන්මම පියෙකුගෙ චරිතයක් කරන්න බැරි නම් මට පුළුවන් චරිතය බාරගෙන මම කරනවා. නමුත් ඒ චරිත තුළ රංගන ශිල්පියා විසින් වෙනසක් කළ යුතුයි. නැත්නම් ඒ හැම චරිතයක්ම ඒකාකාරී වෙනවා. රංගන ශිල්පියෙකු විදිහට ලැබෙන චරිතය එකම වුණත් ඒ චරිතය තුළින් වෙනස් දෙයක් ප්‍රේක්ෂකයින්ට දිය යුතුයි.
 
*අපට දිගටම ඔබේ රංගන දායකත්වය දැකගන්න ලැබුණේ පුංචි තිරය ඔස්සේයි. රිදී තිරය සහ වෙනත් කලා නිර්මාණ සඳහා ඔබේ ඉදිරි දායකත්වය කොහොමද?

මගේ පළමු චිත්‍රපටය "සිංහාවලෝකනය" චිත්‍රපටයයි. මම චිත්‍රපට බාරගනිද්දි ටිකක් ප්‍රවේශම් වෙනවා. මොකද මගේ පුද්ගලික මතය දැන් චිත්‍රපටි ටිකක් දුවනවා අඩුයි. තවත් චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණත් බොහොම ප්‍රවේශමෙන් තිර රචනය කියවලා, මගේ චරිතය ගැන කියවලා තමයි මම සහභාගි වෙන්නේ.

*ඔබ ජනප්‍රිය රංගන ශිල්පියෙකු බවට පත්වෙන්නේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය තුළින්. නමුත් ඒ ඔබේ ප්‍රථම රංගනය නොවේ. කොහොමද ඔබට ක්ෂේත්‍රය පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ?

මගේ පළමු ටෙලි නාට්‍යය විදේශීය අධ්‍යක්ෂවරයෙකු වන ශැමී පවෙල්ගේ "සඳ මුදුනට" ටෙලි නාට්‍යයි. ඔහුගේම නිර්මාණයක් වුණු "ජීව චක්‍ර" මගේ දෙවන ටෙලි නාට්‍යයි. එම ටෙලි නාට්‍යය විකාශය වුණු කාලයේ තමයි මට "මුතු කිරිල්ලි" ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ.

*චරිතයක් හෝ වෙනත් කලා නිර්මාණයකට දායකවෙද්දි ඔබ වැඩි අවධානයක් දෙන කරුණු මොනවද?

තිර රචනය කියවද්දි මගේ චරිතය ගැන මම අවධානයක් යොමුකරනවා. චරිතය ප්‍රධාන ද අප්‍රධාන කියන එක ‍නෙමෙයි. නමුත් ඒ චරිතය තුළ මට කළ යුතු දෙයක් තියෙනවා නම් මම ඒ චරිතය අනිවාර්යයෙන්ම බාරගන්නවා.එහෙම නැති නිර්මාණ බොහොමයක් මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පසුකාලීන මගේ රංගන හැකියාවන් දියුණුවුණාම, අත්දැකීම් අනුව මට නිර්මාණයේ ගුණාත්මක බව, සාර්ථකත්වය ගැන තීරණය කරන්න පුළුවන් වෙයි. නමුත් දැන් නවකයෙක් විදිහට මම මගේ චරිතය පිළිබඳව විතරයි අවධානය යොමුකරන්නේ. සමස්ත නිර්මාණය ගැන මට තක්සේරුවකට එන්න අමාරුයි. මට ලැබෙන චරිතය මට දැනෙනවා නම් මම ඒක භාරගන්නවා.

*වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට මූල්‍යමය පැත්තෙන් ඔබ සෑහීමට පත්වෙනවද?

ඔව්, පුද්ගලිකව මම සෑහීමට පත්වෙනවා. මට මාසයකට ජීවත්වෙන්න ඕන ආදායම රංගන වෘත්තියෙන් ලැ‍බෙනවා නම් මම හිතන්නේ ඒ ඇති. මේ වෘත්තිය ස්ථිර ආදායමක් ලැබෙන වෘත්තියක් නෙමේ. තමන්ගේ වියදම අනුව ඒ මූල්‍යමය කටයුතු පරිපාලනය කරගන්නවා නම් ගැටලුවක් වෙන්නේ නෑ. මට ලොකූ හීන නෑ. මගේ ගමන යනවා. අද දවස ගෙවනවා හෙට මැරුණත් කමක් නෑ අද ජොලි කරලා කියලා.

*මේනක, ඉදිරියේ දී ගායන ක්ෂේත්‍රයට යොමුවෙන්න එහෙම අදහසක් නැද්ද?

ගායන ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් මම සින්දු කියන්න, රසවිඳින්න හරිම ආසයි. මට සින්දු කියන්න එහෙම ලොකු හැකියාවක් නෑ. මම ලංකාවේ ප්‍රසිද්ධ වේදිකාවේ සින්දු කියනවා අඩුයි. නමුත් විදෙස් සංචාරවලදී නම් මම සින්දු කියනවා. කවදාවත් මගේම කියලා ගීතයක් මම නොකියා ඉඳීවි කියලා මම හිතන්නේ නෑ. නිවැරදිව සංගීතය ගැන ඉගෙනගෙන තමයි මම එහෙම සින්දුවක් කියන්නේ.

*ක්‍රීඩා අංශයෙනුත් ඔබේ බොහෝ දක්ෂතා තිබෙනවා. කලා කටයුතුත් එක්ක කාර්යයබහුල වීම නිසා මේ වෙද්දි ඔබ ක්‍රීඩාවෙන් ඈත්වෙලාද?

ක්‍රීඩාව පැත්තෙන් මම පිහිනුම් ක්‍රීඩාවට තමයි මුල් තැන දුන්නේ. 2005 වසරේ සාර්ක් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පුහුණුවීම් කටයුතු කරද්දි තමයි මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ. සැමී පවෙල් මහතා පුහුණුවීම් අතරෙදි මාව දැකලා තමයි ඔහුගේ ටෙලි නාට්‍යයකට ආරාධනා කළේ. ක්‍රීඩාවට සම්බන්ධ වුණේ නැතත් ක්‍රීඩාව නිසා මම කලාවට සම්බන්ධ වුණා කියන්න පුළුවන්. මට මේ හැමදෙයම ලැබුණේ ක්‍රීඩාව නිසා. මට ක්‍රීඩාව අමතක කරන්න සිද්ධවුණේ තියෙන වැඩ කටයුතු එක්ක ක්‍රීඩා කටයුතු කරන්න අමාරු නිසා. ඒ වගේම මම ක්‍රීඩාවලට යොමුවෙලා හිටිය කාලේ රජයෙන් ලැබුණු අනුග්‍රහය අඩුයි. එයත් එක් හේතුවක් වුණා මම ක්‍රීඩාවෙන් ඉවත්වෙන්න.
 
*ජනප්‍රිය පුද්ගලයින් ඔවුන් ලබාගත් ජනප්‍රියත්වය මුදලට අලෙවි කිරීම ඔබ දකින්නේ කොහොමද?

මම ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. අපි ටෙලි නාට්‍යයක් සඳහා මුදලක් කතාකරන්නෙත් අපේ ජනප්‍රියත්වය, දක්ෂතාවය, ප්‍රවීණත්වය කියන දේවල් අනුවයි. අපි හැමදෙයක්ම මුදලටයි අගය කරන්නේ. අපි බෝඩ්වල එල්ලිලා හිටියත්, වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියත් වටිනාකම අනුව තමයි ඒ හැමදෙයක්ම තීරණය වෙන්නේ. ඉතින් මම එය වැරැද්දක් විදිහට දකින්නේ නෑ.

*ජනප්‍රිය කලා ශිල්පියෙකු විදිහට මේනක ඔබට ඔබේ ප්‍රේක්ෂකයින්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඒ අතරින් තරුණියන්ගේ ආදර යෝජනාත් ලැබිලා ඇති. ඒ වගේ අවස්ථාවල දී ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?

මට රසික රසිකාවියන් කතාකරනවා. ඒත් මගේ අවාසනාවකටද කොහෙද එහෙම ආදර යෝජනාවක් අද වනතුරු ලැබිලා නෑ.

*ඔබේ ජනප්‍රියත්වයත් එක්කම ඔබට මගහැර යන්න බැරි මාතෘකාවක් තමයි කටකතා කියන්නේ. මේ සම්බන්ධව ඔබේ අත්දැකීම් ගැන කතාකළොත්?

පුංචි තිරයේ වගේම අන්තර්ජාලයේත් මම මේ දවස්වල ජනප්‍රිය චරිතයක් වෙලා. ක්ෂේත්‍රය තුළ අපේ පෞද්ගලික ජීවිතය තුළ යම් යම් දේවල් සිද්ධවෙනවා. අපේ පෞද්ගලික ජීවිතය අපි ක්ෂේත්‍රයට ගේන්නේ නෑ. නමුත් කටකතා හොයන කිසියම් පිරිසක් එකතුවෙලා අන්තර්ජාලය තුළ තමන්ගේ වෙබ් අඩවි ප්‍රසිද්ධ කරන්න මේ දේවල් පළකරනවා. මාව නොදන්න පිරිසකුත් ඊට පස්සේ මං ගැන හොයන්න ගන්නවා. ඇත්තටම මට ඒකෙන් හොඳ ප්‍රචාරයක් ලැබෙනවා. ඉතින් මම ඒ සම්බන්ධව කිසිදෙයක් කියන්න යන්නේ නෑ. මගෙන් සම්මුඛ සාකච්ඡා ගන්නත් අහනවා. නමුත් මම කියන්නේ ඒ වගේ ගුණාත්මකභාවයක් නැති දෙයකට මම අදහස් දක්වන්න යන්නේ නෑ. වැඩක් නැති අය ඒ වගේ වැඩකට නැති කටකතා කියවනවා. ඒ දේවල් ඇත්ත වුණත් බොරු වුණත් ඒ මගේ පෞද්ගලික ජීවිතය. කොහොමවුණත් මට දෙන ඒ ප්‍රචාරය තවදුරටත් කරගෙන යන්න කියලා මම ඒ වෙබ් අඩවිවලින් ඉල්ලා සිටිනවා. ඒ අතරේ කටකතා වගේම සත්‍ය දේවලුත් තියෙනවා. නමුත් ඒ සත්‍ය දේවල් සම්බන්ධව මගෙන් විමසීමක් කරලා මාධ්‍ය ඔස්සේ පළකරනවා නම් වඩා සුදුසුයි. නමුත් මගේ පෞද්ගලික ජීවිතයේ දේවල් එහෙම ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය නෑ. ඒ මම මගේ පෞද්ගලික ජීවිතය තුළ විඳින දේවල්. මගේ රසික රසිකාවියන් දැනගත යුත්තේ මම පුංචි තිරය තුළ ඉදිරිපත් කරන දේ පමණයි. මට එතනින් එහෙට පෞද්ගලික ජීවිතයක් තියෙනවා.

*ජීවිතයේ ඔබට මුහුණදෙන්න සිද්ධවුණු අභියෝගාත්මක සිදුවීමක් හෝ අවස්ථාවක් ගැන මතක්කරන්න පුළුවන්ද?

"අමන්දා" ටෙලි නාට්‍යයේ "තේජාන්" චරිතයට තෝරාගෙන හිටි ශිල්පියාට යම් හේතුවක් නිසා ඒ චරිතයට සම්බන්ධ වෙන්න බැරිවුණා. පසුව ඒ චරිතයට මට කතාකළා. ඒ චරිතය අනුව ඔහු මෝටර් බයික් රේස් පදින කෙනෙක්. මට එතකොට බයික් පදින්න බෑ. නමුත් චරිතයට තිබුණු ලෝභකමට මම ඒ ගැන කියන්න කැමතිවුණෙත් නෑ. නමුත් මම තීරණය කළා කොහොමහරි ඉගෙනගන්නවා කියලා. රූගත කිරීම් යෙදිලා තිබුණු දිනයට කලින් දවසේ මම බයික් එකක් හොයාගෙන කොළඹ වටේ පුරුදු වුණා. මට ලයිසන් තිබුණෙත් නෑ. අදටත් මට බයික් ලයිසන් නෑ. පහුවදා රූගත කිරීම්වලට ගියාම මට ලැබුණේ ටිකක් පාලනය කරන්න අමාරු ලොකු බයික් එකක්. පිටිපස්සේ කැමරා ශිල්පියාත් තියාගෙන මට 120 ක විතර වේගයෙන් යන්න තිබුණා. බයයි කියලා කියන්න විදිහකුත් නෑ. කොහොමහරි රූගත කිරීම් සිදුකළා. දවස් කිහිපයක් යද්දි හොඳට බයික් පදින්න පුරුදු වුණා.

*මොනවද අනාගත සැලසුම් සහ සිහින?

ක්ෂේත්‍රය තුළ මට යන්න පුළුවන් උපරිම දුර මම යනවා. ටෙලි නාට්‍ය, චිත්‍රපටවලින් මේනක රාජපක්ෂ එපා කියලා එළියට දානකන්ම මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. ඒ වගේම ක්ෂේත්‍රය තුළ මම යම් තීරණාත්මක දේවල් කරන්න පුළුවන්. මම මැරෙනකන්ම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ආසයි. පුළුවන් තරම් කල් ක්ෂේත්‍රයේ රැඳීසිටීම තමයි මගේ කැමැත්ත.

*මොනවද පවුලේ තොරතුරු?

මට මගේ අම්මායි, අක්කයි විතරයි ඉන්නේ. මගේ තාත්තා වසර 06 ට පෙර නැතිවුණා. මට පුංචි දුවෙක් ඉන්නවා. මෙනායා රාජපක්ෂ. ඇයට අවුරුද්දක් සම්පූර්ණ වුණා.

*මේ දක්වා පැමිණි ගමන ගැන සෑහීමට පත්වෙනවද?

මම කවදාවත්ම නොදැකපු හීනයක් තමයි ලංකාවේ ජනප්‍රියම නළුවා වීම. නමුත් අවුරුදු 02 ක්ම මට ඒ සම්මානය ලැබුණා. එතැනින් එහාට මම කැමතියි නැගී එන නළුවා, සහය නළුවා සහ හොඳම නළුවා කියන සම්මාන. ඒ වගේ සම්මානවලටම යන්න ඕනේ නෑ. නමුත් මගේ රංගන පරාසය ඒ තැන්වලට ගේන්න මම කැමතියි. ඒ සඳහා නාම යෝජනා හෝ වුණොත් මට මගේ රංගනය ගැන යම් තක්සේරුවක් කරන්න පුළුවන්.

*කලාවට සම්බන්ධ නොවුණා නම් අපිට ඔබව මොන විදිහට දකින්න ලැබෙයිද?

මම ගොඩක් ආස කරපු දෙයක් තමයි කළමනාකරණ ක්ෂේත්‍රය. මම හරි ආසයි මම කරන හැමදෙයකින්ම ඉදිරියට යන්න. ඉතින් මම හිතනවා මම කලා ක්ෂේත්‍රයට ආවේ නැත්නම් පෞද්ගලික ආයතනයක කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉදිරි තැනක මම ඉඳීවි කියලා.

HARD TALK

*ගැහැණු ළමයෙකුට මුලින්ම ආදර යෝජනාවක් ඉදිරිපත් කළේ වයස අවුරුදු කීයෙදීද?

අවුරුදු 13 දී.

*ඔබේ ප්‍රථම ප්‍රේමය කොපමණ කාලයක් පැවතියාද? 

අවුරුදු 1 ½ ක් විතර

*දේශපාලනයට පිවිසෙන්න ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවද?

නැහැ.

*ඔබ සමග රංගනයෙන් දායකවුණු කිසියම් රංගන ශිල්පිණියකට ආදර යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවක් තියෙනවද?

නැහැ.

*නෙහාරා පීරිස්, මුතු තරංගා සහ දුලානි අනුරාධා යන ශිල්පිණියන්ගෙන් ඔබට තිරයේ වඩාත්ම ගැළපෙන පෙම්වතිය?

නෙහාරා පීරිස්.

*ආදරය කරන යුවලක් අනිවාර්යයෙන්ම විවාහ විය යුතුයි කියලා ඔබ හිතනවාද?

නැහැ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts