http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, December 14, 2011

මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ...

මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ...
(ඇයට කලා ක්ෂේත්‍රයට එක්වීමට අවස්ථාව ලැබෙන්නේ 2003 වසරේ "මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගැනීමත් සමගය. සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ "වස්සාන සිහිනය" චිත්‍රපටය ඇය ප්‍රථම රංගන දායකත්වය ලබාදුන් නිර්මාණය වේ. එම ප්‍රථම රංගනය වෙනුවෙන් හොඳම සහය රංගන ශිල්පිණිය ලෙස සම්මානයට පාත්‍රවීමටද ඇය සමත්වූවාය. ‍එමෙන්ම ප්‍රසන්න ජයකොඩිගේ "සංකාරා" චිත්‍රපටය ඇගේ රංගන ජීවිතයේ නව වෙනසක් ඇතිකළ නිර්මාණයකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇති ඇය මේ වන විට චිත්‍රපට නිෂ්පාදනයට ද යොමුව සිටියි.)

ඇය සචිනි අයේන්ද්රා .... 






ඡායා -ඩීනා රඹුක්කන්ගේ


*සම්පූර්ණ නම


සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි

*උපන්දිනය

අප්‍රේල් 08

*ලග්නය

මිථුන

*උස

අඩි 05 අඟල් 03

*පදිංචිය

බත්තරමුල්ල


*සචිනි, ඉතින් කොහොමද මේ දවස්වල ඔබේ ජීවිතය ගතවෙන්නේ?

මේ දවස්වල නම් හරිම කාර්යයබහුලයි. ප්‍රධාන වශයෙන් මම මේ වනවිට බිරිඳක් වගේම මවක් වන නිසා. දැන් මගේ දුවට මාස 08 යි. ඇයගේ වැඩ කටයුතු නිසා බොහොම කාර්යයබහුලයි. ඒ එක්කම මගේ අනෙක් වැඩ කටයුතුත් කරගෙන යනවා. ඒ නිසා ඇත්තටම දවස ගෙවෙනවා දැනෙන්නෙ නෑ.

*විවාහයෙන් පසුව ඔබ කලා කටයුතුවලින් ඈත්වෙන්න තීරණය කරලද?

එහෙම කියන්න බෑ. විවාහය සමග මම ඊට වැඩි කාලයක් දුන්නා. කොළඹින් පිට රූගත කිරීම්වලට මම ටිකක් අඩුවෙන් සම්බන්ධ වුණේ. විවාහයට පෙර වගේ නෙමෙයි දැන් කලා කටයුතු සමබරව තමයි කරගෙන යන්නේ. දුව ලොකුවෙද්දි මගේ කාර්යයබහුලත්වය අඩුවෙයි. මේ වගේම ඉදිරියේදීත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කාලය හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් නම් හැම කටයුත්තක්ම ලස්සනට කරගෙන යන්න පුළුවන්.

*සචිනි කලා කටයුතුවලට අමතරව ඔබ මේ වනවිට ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් යොමුවෙලා තිබෙනවා. ඒ වැඩ කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් මම කාර්යාලය තුළ උදේ 8 ඉඳන් 5 වෙනකං වැඩ කරන කෙනෙක් නෙමෙයි. එය මට ලැබිලා තියෙන වාසියක් කිව්වොත් නිවැරදියි. දවසකට පැය 3 ක් පමණ මම ව්‍යාපාරික කටයුතුවලට යොදලා තියෙනවා. ඒ විදිහට මම කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.

*එතකොට ඔබ මේ වනවිට ඔබේ වෘත්තිය විදිහට තෝරාගෙන තිබෙන්නේ කුමන ක්ෂේත්‍රයද?

දැන් මගේ පූර්ණකාලීන වෘත්තිය තමයි මව සහ බිරිඳ. ඒ සඳහා තමයි මම වැඩි කාලයක් ගතකරන්නේ. නමුත් එය වෘත්තියක් ලෙසම හඳුන්වන්න බෑ. මම කැමතියි තවමත් මාව නිළියක් විදිහට හඳුන්වනවා නම්. නමුත් දැනට මම කරන වැඩ කටයුතුත් එක්ක එක් දෙයක් වෘත්තිය විදිහට සලකන්න බෑ.

*විවාහය කලා ශිල්පිණියකට තමන්ගේ කලා කටයුතුවලට බාධාවක් වෙනවා කියලා ඔබ හිතනවාද?

කලාවට බාධාවක් නෙමෙයි. නමුත් කලා කටයුතුවල ඉස්සර තරම් නියැලෙන්න වෙලාවක් නෑ. මම එය බාධාවක් විදිහට දකින්නේ නෑ. මම විවාහවෙන්න තීරණය කරද්දි කලාව වෙනුවෙන් මගේ මුළු කාලයම කැපකරලා තිබුණේ. ඒ නිසා මම දැනං හිටියා විවාහය වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුයි කියලා. ඒ සඳහා සූදානම් වෙලා තමයි මම විවාහ වුණේ. ඉතින්, මං ඒ ගැන දුක්වෙන්නේවත්, කලකිරෙන්නෙවත් නෑ. මම ඒ දෙකම සමබර කරගෙන ආසාවෙන් කරගෙන යනවා.

*පෙම්වතියගේ චරිතයට තවමත් ඔබට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම. මවක් දරුවන්ට ආදරය කරනවා. බිරිඳක් සැමියාට ආදරය කරනවා. මා තුළ ඒ ආදරවන්තිය තවම ඉන්නවා. මම හිතන විදිහට බිරිඳක්, මවක් වුණා කියලා මගේ පෞර්ෂත්වය තුළ වෙනසක් සිදුවෙලා නෑ. එකම දේ සීමාවල් තියෙනවා. පෙම්වතියගේ චරිතය කියන්නේ රංගනයක් විතරයි. මම හිතන්නේ නෑ විවාහය, වයසට යාම තුළින් පුද්ගලයින් තුළ වෙනසක් ඇතිවෙනවා කියලා.

*පුංචි තිරයේ හෝ රිදී තිරයේ ඔබ පෙම්වතියගේ චරිතය නිරූපණය කරනවා දකිද්දි ඔබේ සැමියා ඒ ගැන මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ?

මගේ සැමියා බොහොම බුද්ධිමත් පුද්ගලයෙක්. එය මට වාසනාවක්. ඔහු ඒ දේවල් අනවශ්‍ය විදිහට දකින, ඊර්ෂ්‍යා හිතන කෙනෙක් නෙමෙයි. ඔහු බුද්ධිමත්ව ඒ දේවල් දකිනවා. බිරිඳක් විදිහට මමත් කටයුතු කරන්නේ ඒ ගෞරවය රැකෙන විදිහටයි. විවාහ වූ දා සිටම මම බාරගන්න සෑම චරිතයක් ගැනම ඔහුට දැනුම් දෙනවා. ඒ ගැන ඔහුගේ අදහස් දැ‍නගෙන, විරුද්ධත්වයක් නැත්නම් මම ඒ චරිතය බාරගන්නවා. ඉන්පසුව ඔහු ඒ සම්බන්ධව මට කිසිම අකමැත්තක් ප්‍රකාශ කරන්නේ නෑ.

*අකමැත්තක් නැත්නම් පොඩ්ඩක් විතර ඔබේ ඒ ලස්සන අතීතයට ගිහින් ඔබේ ආදර කතාව ගැනත් මතක්කරමුද?

ඔහු මට මුණගැහුණේ 2008 වසරේ. ඔහු ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක්. ඔවුන්ගේ හෝමාගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක තිබුණු අවුරුදු උත්සවයක අවුරුදු කුමාරී තේරී‍ම සඳහා මම සහභාගි වුණා. ඔහුව මුලින්ම මුණගැහුණේ එතනදී. ඔහු ඉෂංග මහීපාල.

*ඔබේ විවාහය සිදුවන්නේ කලා කටයුතු පැත්තෙන් ඔබ යම් ස්ථාවර මට්ටමකට පැමිණ සිටි අවධියක. හිතෙන්නේ නැද්ද විවාහයට ඉක්මන් වුණා වැඩියි කියලා?

නැහැ. මගේ ජීවිතේ හැමදෙයම මම කරන්නේ සැලසුමකට අනුවයි. මම විවාහය සම්බන්ධවත් එහෙම සැලසුම් කරගෙන තිබුණා. නමුත් ඇත්තටම විවාහය සම්බන්ධව එහෙම තීරණය කරන්න අමාරුයි. මොකද මේ කාලේ විවාහවෙනවා කියලා තීරණය කරං හිටියත් සුදුසු කෙනා මුණනොගැහෙන්න පුළුවන්. නමුත් මට මම හිතං හිටිය කාලෙම විවාහවෙන්න අවස්ථාව ලැබුණා. මම හිතාගෙන හි‍ටිය විදිහෙ කෙනෙක්ම මට ලැබුණා. ඉතින් ඒ කාලෙදී මම විවාහ වුණා. ඒ වගේම මම හිතාගෙන හිටියා මේ කාලේදී මට දරුවෙක් ලැබුණා නම් හොඳයි කියලා. යම් සැලසුමකට අනුව ඒ දේවල් සිදුවුණා. ඒ නිසා මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ. මම හිතනවා සුදුසුම කාලෙ තමයි මම විවාහ වුණේ. ඒ වගේම වෘත්තියම ජීවිතය කරගන්නත් බෑ. ඕනම කෙනෙක්ට පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕන.

*කලා කටයුතුවලදී ඔබට සීමා, මායිම්, කොන්දේසි තිබෙනවාද?

වෘත්තියට පැමිණි දා ඉඳලම මම පනවාගත් සීමා, මායිම් කිහිපයක් තියෙනවා. ඒ සීමා, කොන්දේසි අදටත් තියෙනවා. විවාහයෙන් පසු ඒ දේවල් වෙනස්වුණේ නෑ. හොඳ අධ්‍යක්ෂවරයෙක්ගේ, හොඳ පිටපතක්, හොඳ චරිතයක් නම් මම එය තෝරාගන්නවා.

*ජනප්‍රිය පුද්ගලයෙකුට විශේෂයෙන් කාන්තා පාර්ශවය ගැන කතාකළොත් සාර්ථක පෞද්ගලික ජීවිතයක් ගතකරන්න අපහසුයි කියන මතය එක්ක ඔබ එකඟවෙනවද?

එය තීරණය වෙන්නේ අදාළ පුද්ගලයා මතයි. ඒ වගේම උදාහරණයක් විදිහට මම ගැන කතාකළොත් මම විවාහවෙන පුද්ගලයාත් බුද්ධිමත් විදිහට ඒ දේවල් දකින කෙනෙක් වෙන්න ඕන. දෙදෙනා අතර අවබෝධයක් තිබිය යුතුයි. බිරිඳත් විශ්වාසය රැකෙන අයුරින් කටයුතු කරන්න ඕන. සැමියා කොපමණ නිදහසක් දුන්නත් සීමාව දැනගෙන හැසිරෙන්න ඕන. ඒ විදිහට දෙදෙනාම අවබෝධයෙන් වැඩ කරනවා නම් මම හිතන්නේ වෙනත් අය මොන දේවල් කිව්වත් ගැටලුවක් වෙයි කියලා.

*ඇත්තද සචිනි ටිකක් ආඩම්බර චරිතයක් කියන්නේ?

මට නිතරම ඒ චෝදනාව ලැබෙනවා. මම නොදන්න අයත් එක්ක මම කතාකරනවා අඩුයි. බොහෝ පිරිසක් සිටින තැනකට ගියාම මම සාමාන්‍යයෙන් තරමක් නිහඬව ඉන්නවා. එය මම හිතලා කරන දෙයක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඇති එහෙම කියන්නේ. අදටත් මම බොහෝදුරට උත්සාහ කරනවා මගේ රසිකයෝ දැක්කම හිනාවෙලා කතාබහ කරන්න. නමුත් ඉතින් පුද්ගලයෙක් විදිහට එකවරම වෙනස්වෙන්න අමාරුයි.  නමුත් මම උත්සාහ කරනවා. මාව දන්න අය කවදාවත් මම ආඩම්බරයි කියන්නේ නෑ. නොදන්න අය තමයි එහෙම කියන්නේ.

*සාමාන්‍ය ජීවිතයේ සචිනි අයේන්ද්‍රා හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?

මට ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. මම මොනවගේ කෙනෙක්ද කියන එක මට ඇත්තටම විස්තර කරන්න අමාරුයි. මගේ සැමියා, අම්මා, මිතුරු මිතුරියන්ගෙන් ඇහුවොත් ඒකට උත්තර දෙයි. ඒත්, මට හරි අමාරුයි ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න.

*ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් අතර මතයක් තිබෙනවා ඔබ ඇතැම් අවස්ථාවලදී එකවර නිර්මාණ කිහිපයක වැඩ බාරගත්තොත් ඇතැම් නිර්මාණ හදිසියේ අතහැර දමනවාලු. ඒ වගේම ඇතැම් වැඩසටහන් සඳහා ආරාධනා බාරගෙන අවසන් මොහොතේ ඒ සඳහා දායකවෙන්න නොහැකි බව දැනුම් දෙනවලු. ඔබ මොකද මේ ගැන කියන්නේ?

ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑනෙ. යම්කිසි සිදුවීමක් නිසා තමයි එහෙම චෝදනා කරන්නේ. එහෙම සිදුවීමක් වුණා. එක්තරා ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදුවන අතර වෙනත් චිත්‍රපටයක් සඳහා මම දින දීලා තිබුණා. නමුත් මම ඒ ගැන ඔවුන් දැනුවත් කර තිබුණේ නෑ. නමුත් මට දැනුම්දීමක් නොකර ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම තවත් මාස කිහිපයක් රූගත කිරීම් කරන්න. ඒ නිසා තමයි ප්‍රශ්නයක් ඇතිවුණේ. එතනදි දින ප්‍රශ්නයට වඩා ඔවුන් හැසිරුණු විදිහ, ඔවුන් මට චෝදනා කළ විදිහ ගැන කලකිරීම නිසා මම ටෙලි නාට්‍යයෙන් ඉවත්වුණා. ඒ ප්‍රශ්නෙදි ඔවුන්ට ඊට වඩා වෙනස් විදිහට ඒ සම්බන්ධව කටයුතු කරන්න තිබුණා. පසුව කතාව ඇතිවුණේ මම ටෙලි නාට්‍යය අතහැරලා චිත්‍රපටයට සම්බන්ධ වුණා කියලා.

*ඔබට සුළු හෝ විවේකයක් ලැබුණොත් ඒ විවේකය ගතකරන්න කැමති කොහොමද?

විවේකයක් ලැබුණු කාලයක් ඇත්තටම මතකත් නෑ. මගේ වෙනත් වැඩ කටයුත්තක යෙදෙන්නේ නැත්නම් මම ඒ හැම මොහොතක්ම ගතකරන්නේ මගෙ දුවත් එක්ක. ඒ ඇරුණම රූපවාහිනිය නරඹනවා. නැත්නම් පොතක් කියවනවා. රූපවාහිනිය නරඹනවාටත් වඩා පොතක් කියවීමෙන් මම විනෝදයක් ලබනවා. මේ දවස්වල ඒ වගේ පුංචි විවේක කාලයන් තමයි ලැබෙන්නේ.

*වෘත්තීය වශයෙන් වගේම පෞද්ගලික වශයෙනුත් ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

ඉදිරියෙදිත් මම කලා ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා. අඩුම තරමේ වසරකට එක් චිත්‍රපටයක්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යාපාරික පැත්තෙන් තව ගොඩක් දියුණුවෙන්න මගේ සැමියාට සහයවෙන්න ඕන. ඒ වගේම තව වැඩිපුර දරුවෝ හදන්න ඕන. ඒ වගේ හැම පැත්තකින්ම මගේ ඉදිරි බලාපොරොත්තු තියෙනවා. ඒ හැමදෙයක්ම මගේ හිතේ තියෙන පිළිවෙළට කරන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ. චිත්‍රපට නිෂ්පාදනයටත් යම් අවස්ථාවක් ලැබුණොත් දායකවෙනවා.

HARD TALK

*ඔබට බොහොම හොඳ මිලක් ලැබෙන, ඔබ බොහොම කැමති නිර්මාණ ශිල්පියෙකුගේ ඔබ කාලයක් තිස්සේ සිහින මවමින් සිටි නිර්මාණයකට දායකවෙන්න ආරාධනාවක් ඔබට ලැබෙනවා. නමුත් ඔබේ සැමියා කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරන්න කියලා ඔබට කියනවා. ඔබ නිර්මාණය බාරගන්නවද? ප්‍රතික්ෂේප කරනවද?

ප්‍රතික්ෂේප කරනවා.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු කවදා හෝ ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද?

අනිවාර්යයෙන්ම. ඕනතරම්.

*ඔබේ ප්‍රථම ආදරයෙන් ඔබට ලැබුණු ප්‍රථම තෑග්ග?

මාලයකුයි, අත් පළඳනාවකුයි.

*ඔබ දායක වූ කිසියම් කලා නිර්මාණයක් වෙනුවෙන් ඔබට පොරොන්දු වූ මුදලක් නොලැබී ගිය අවස්ථාවක් තියෙනවද?

අනිවාර්යයෙන්ම. ගොඩක් තියෙනවා.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු හෝ ශිල්පිණියක සමග සුළු හෝ මත ගැටුමක් ඇතිකරගත් අවස්ථාවක් තියෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම.

*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවද?

නැහැ.

*වෘත්තීය වශයෙන් සාර්ථක කලා ශිල්පිණියක් විදිහට ඔබ හඳුන්වන්නේ මූල්‍යමය වශයෙන් ඉහළම මට්ටමක ඉන්න ශිල්පිණියක් ද ඉහළම ජනප්‍රියත්වයක් තිබෙන ශිල්පිණියක්?

දෙකම.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts